07
September
2026
2026 සැප්තැම්බර් 07 වන සඳුදා "අරුණ" පුවත්පත
වාර්තාව: ඉන්දික සංජීව විතාන ගෙනි
කියවීමේ සංස්කෘතිය සහ ඉතිහාසය දරුවන්ට හා පාඨකයන්ට කියාදීමේදී ශ්‍රී ලංකාවේ හා වයඹ පළාතේ ඉතිහාසය, ආගමික සහජීවනය එකට යා කරන ඉතා වැදගත් සන්ධිස්ථානයක්ය. දේශීය ඉතිහාසය සහ මුද්දර අතර ඇති මෙම සබඳතාව මතු කර දැක්වීමෙන්, පුස්තකාල කාර්ය මණ්ඩලයට මෙන්ම පාඨකයන්ටද මුද්දරය යනු "ඉතිහාසය කියවන කඩදාසි කැබැල්ලක්" බව පහසුවෙන් වටහා දිය හැකිය. එමෙන්ම, පෙළපොත් පදනම් කරගත් නව්‍ය කියවීමක් උදෙසා මුද්දරය දෘශ්‍ය ආධාරකයක් ලෙස භාවිත කරන අයුරු පැහැදිලි කරදීමෙන් පෙළපොත් ආශ්‍රිත කරුණු ඉතා පහසුවෙන් සහ රසවත්ව කියවීමටත්, අධ්‍යයනය කිරීමටත් සිසුන්ට හැකියාව ඇත්තේය.
ඒ් අනුව "පොත් කියවන මුද්දර" පුහුණුකරුවන් පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා නාත්තන්ඩිය නගර සභා ශාලාවේදී පැවැත්විණි. කියවීමේ මාසයට සමගාමීව සාම්ප්‍රදායික පොත් කියවීමේ රටාවෙන් ඔබ්බට ගිය දෘශ්‍ය හා ගවේෂණාත්මක කියවීමේ චාරිකාවකට මුලපුරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
වයඹ පළාතේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව මඟින් සංවිධානය කෙරුණු මෙම මුද්දර කියවීමේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සාගර කුමාර විජේසේකර, ප්‍රජා සංවර්ධන කමිටු සභාපති ඩිලාන් දුෂ්මන්ත සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබා දුන්නේ "කියවන මුද්දර" නිර්මාතෘ නිරෝෂණ පීරිස් සහ විරංගා කුලරත්න ය.
මේ සදහා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට අයත් පුස්තකාල 15ක පුස්තකලයාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි විය. එහිදී නාත්තන්ඩිය, දුන්කන්නාව, මාරවිල, මහවැව, කොට්ට්‍රාමුල්ල, කටුනේරිය, සුමනකුසුම්ගම, තොඩුවාව, වලහපිටිය, සාගරගම, ඉරණවිල, යක්දෙස්සාව, නාරාවිල, තබ්බෝව යන මහජන හා ජංගම පුස්තකාල කාර්ය මණ්ඩලය හා එම පුස්තකාල නියෝජනය කරමින් පාඨක සමාජ සාමාජිකයින් හා දරු දැරියන් සීමිත සංඛ්‍යාවක් ද සහභාගී විය.
මුද්දර කියවීමේ මූලික පියවරක් ලෙසින් වයඹ පළාත් පුෂ්පය වන "ඇට්ටේරියා මල" නිරූපිත විශාලනය කරන ලද සමරු මුද්දරයක් පද්ධතියේ සෑම පුස්තකාලයකටම පරිත්‍යාග කෙරුණු අතර, අනාගතයේදී නාත්තන්ඩිය පුස්තකාලය මූලික කරගෙන මුද්දර තොරතුරු ඒකකයක් පිහිටුවීමටත්, විශේෂයෙන්ම මහවැව සොයිලියස් මැන්දිස් අනුස්මරණ මහජන පුස්තකාලය කේන්ද්‍ර කරගෙන පළාත් මුද්දර එකතුවක් ගොඩ නැගීම සඳහාත් අගනා අවස්ථා පවතින බවත් ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම් හිමාලි දිල්රුක්ෂිගේ මගපෙන්වීම මත ප්‍රජා සංවර්ධන නිලධාරී සමන්ත විජේතුංග, නාත්තන්ඩිය මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපතිනී රන්ගි ඉෂාරා පතිරණ ඇතුළුව සෙසු සියලු පුස්තකාධිපතිවරුන් සහ සමස්ත පුස්තකාල කාර්ය මණ්ඩලය මෙන්ම නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා ප්‍රජා සංවර්ධන කමිටු සභාපතිතුමන් ඇතුළු එම කමිටු සාමාජිකයින් ද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වීය.
https://epaper.aruna.lk/Home/ArticleView?eid=1&edate=07/09/2026&pgid=103765
© kiyawanamuddara 2020 | Solution by 4meli.com