04
August
2026
2026 අගෝස්තු 04 වැනිදා "අරුණ" දිනපතා පුවත්පතේ වාර්තාව කළුතර ඉන්දික සංජීව විතාන ගෙනි.
දශක දෙක තුනකට පෙරාතුව බොහෝ දෙනෙකුගේ විනෝදාංශ අතර මුලින්ම තිබුණේ මුද්දර එකතු කිරීමය. ගෙදරට ලැබෙන ලියුම් කවරයේ තිබෙන මුද්දරය ගලවා පිරිසිදු කර එක්කෝ පොතක අලවන්නේය. එහෙමත් නැතිනම් මුද්දර ඇල්බමයක එකතු කරන්නේය. මේ ආකාරයට මුද්දර එකතු කිරීම ලොව පුරා වෙසෙන ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව තිබුණේය. නමුත් වර්තමානය වන විට අන්තර්ජාලය, විද්‍යුත් තපෑල, වට්ස්ඇප්, වයිබර් මේ ආදිය මගින් සන්නිවේදනය පහසුවෙන් සහ ඉක්මනින්ම කර ගත හැකි නිසා නිවෙස්වලට ලැබෙන ලිපි සංඛ්‍යාවේ ද පහළ වැටීමක් සිදුවුණේය. මේ හේතුවෙන් මුද්දර භාවිතය කෙමෙන් කෙමෙන් අඩුවීමට පටන් ගත්තේය.
කොහොම නමුත් මුද්දරය, ලිපි තැපෑලට පමණක් සීමා නොවී, කියවීම් මෙවලමක් වශයෙන් භාවිතයට ගෙන ඇති මොහොතක සෞඛ්‍ය සන්නිවේදනයට නව මානයක් එකතු කරමින්, පුස්තකාලයේ නව්‍ය ප්‍රවේශයක් ලෙස සෞඛ්‍ය මුද්දර විද්‍යාව (Medical Philately) හඳුන්වා දීමට පසුගියදා "කියවන මුද්දර" පියවර ගෙන තිබුණේය.
ඒ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) අභිමානවත් සියවස් සංවත්සරයට සමගාමීව ජූලි 30 සිට අගෝස්තු 01 වන දා තෙක් පැවැත්වූ ප්‍රදර්ශනයේදී ය. NIHS පුස්තකාලය මගින් "කියවන මුද්දර" Medical Philately ප්‍රදර්ශන කුටිය සංවිධානය කර තිබුනේය. පුස්තකාලයක් යනු හුදෙක් පොත්පත්වලට පමණක් සීමා නොවූ, සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා ද නිර්මාණශීලී සංකල්ප ජනගත කළ හැකි ප්‍රබල මධ්‍යස්ථානයක් බවට මෙමඟින් මැනවින් සපථ විය.
මෙම අභිමානවත් ආරම්භයට සමගාමීව, NIHS පුස්තකාලයේ මෙඩිකල් ෆිලටලි විශේෂිත විශාලනය කරනු ලද මුද්දර එකතුවක් ස්ථාපිත කිරීම සඳහා ද කටයුතු කෙරිණි. මෙම මුද්දර එකතුව NIHS හි ඉගෙනුම ලබන හෙද සේවය, ප්‍රසව වේදය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂන කටයුතු වැනි මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි පුහුණුව ලබන සිසුන්ගේ පර්යේෂණ දැනුම වර්ධනයටත්, ප්‍රජා සෞඛ්‍ය පුහුණුවටත් මූලාශ්‍රයක් වනු ඇත. ඉදිරියටත් අඛණ්ඩව සංවර්ධනයට බලාපොරොත්තු වන මෙම එකතුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙඩිකල් ෆිලටලි එකතුව බවට පත්වෙමින් සෞඛ්‍ය හා පුස්තකාල ඉතිහාසයේ අමතක නොවන සන්ධිස්ථානයක් වනු ඇතැයි "කියවන මුද්දර" නිර්මාතෘ නිරෝෂණ පීරිස් කියයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස හා පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ දෙපළ පැමිණියේය. එයට අමතරව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. නන්දකුමාරන්, හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තමර කීර්ති කළුබෝවිල, වෛද්‍ය චුලරත්න ඇතුළු නිලධාරීන් බොහෝ දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම කාර්යයය වෙනුවෙන් වර්තමාන පුස්තකාලයාධිපතිතුමියන් වන නදීකා හා නිරෝෂිණී දෙපළ, පුස්තකාල කාර්ය මණ්ඩලය මෙන්ම, පුස්තකාලයේ අභිවෘද්ධියට පදනම දැමූ පූර්ව පුස්තකාලයාධිපතිවරුන් සහ නිලධාරීන් ඇතුළු සියලු දෙනා මෙහිදී විශේෂ සහයෝගයක් දැක්වූහ.
"අලුත් වෙමින් හිතවත්කම් මුද්දරයෙන් දැනමුතුකම්" තේමාව පාදක කරගෙන පැවැති දින කිහිපය පුරාම මුද්දර කුටිය වෙත පාසල් දරුවන් සහ අනෙකුත් නරඹන්නන් විශාල වශයෙන් පැමිණි බවත් ඔවුන්ගේ අත්දැකීම් හා මතකයන් නොනොමසුරුව අප හා බෙදා ගත් සහ අපගේ උත්සාහය ඇගයීමට ලක් කරමින් අපට ශක්තියක් වූ, මෙන්ම මේ වෙනුවෙන් නොමසුරුව උදව් උපකාර කළ සියලුම දෙනාට අප අසීමිතව ස්තූතිවන්ත වන බවත් "කියවන මුද්දර" වෙනුවෙන් නිරෝෂණ පීරිස් සහ විරංගා කුලරත්න පැවසීය.
https://epaper.aruna.lk/home/ShareArticle... See less
© kiyawanamuddara 2020 | Solution by 4meli.com