kiyawanamuddara.lk

Publication & Articles

අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්


  +94777785607


17
October
2025

සබැඳියාවේ පුදබිම් සමඟ පොත් කියවන මුද්දර

විවිධත්වය, සමගිය සහ බහු සංස්කෘතිකවාදය සියවස් ගණනාවක් තිස්සේ අපේ රටේ සමාජ හා දේශපාලනික ව්‍යුහයේ කොටසක් වී ඇත. චාරිත්‍ර වාරිත්‍ර, පිළිවෙත්, ස්මාරක, කලා කෘති, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාරසංස්කෘතිය  සහ අනෙකුත් සම්ප්‍රදායන්හි දක්නට ලැබෙන ඒකාබද්ධතාවය සහ සාමාන්‍ය සංස්කෘතික විවිධත්වය පෙන්නුම් කරන්නේ අපේ ජාතිය දිඟු කලක් තිස්සේ බහු සංස්කෘතීන්, උරුමයන් සහ විශ්වාස පද්ධතීන් විවෘතභාවයෙන් හා ගෞරවයෙන් වැළඳගෙන ඇති බවයි. ”සබැඳියාවේ පුදබිම්” කෘතියෙන් පෙන්නුම් කරන්නේ එම විවිධත්වයේ විචිත්‍රත්වයයි. ඓතිහාසික සාක්ෂි මඟින් ප්‍රජාවන් එකට ජීවත් වූ බවත්, වන්දනාමාන අවකාශයන් බෙදා ගත් බවත්, උත්සවවලට සහභාගී වූ බවත්, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ පොහොසත් හා සජීවී අනන්‍යතාවයක් නිර්මාණයකර ගැනීමට එකිනෙකාගේ දැනුම සහ අත්දැකීම්  හුවමාරු කර ගත් බවත්, මෙම කෘතිය පැහැදිලි කරයි. ”සබැඳියාවේ පුදබිම්” ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය මඟින් භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශිත ය.
හසිනි හපුතන්ත්‍රි මහත්මිය මෙහි කෘතහස්ත කතුවරියයි. කෞතුකාගාර විද්‍යාඥවරියක, කලාව පිළිබඳ ඉතිහාසඥවරියක සහ පුරා විද්‍යාත්මක ස්ථාන කෙරෙහි මෙන්ම විවිධ සංස්කෘතීන්ට පෙම් බඳින්නියකගේ ඇසින් ආගමික සංහිඳියාව, සෞන්දර්යාත්මක සංකලනය, සංස්කෘතික පැවැත්ම, වාස්තු විද්‍යාත්මක සම්බන්ධතාව සහ සංස්කෘතික සංයෝජනය යන තේමාවන් ගවේෂණය කරන්නියක ලෙසින් ඇය  ප්‍රකටය. කෘතියේ කතාන්දර වල ජීව ගුණය ඉස්මතු කරන  සුජීව ද සිල්වාගේ ඡායාරූප, ශ්‍රී ලංකාවේ පූජනීය අවකාශයන් සහ විවිධ ආගම් හරහා මිනිසුන් එක් කිරීම සඳහා ඒවායේ කාර්යභාරය පිළිබඳ කල්පනාකාරී ගවේෂණයකි. මෙහි අඩංගු සමහර ජයාරූප විශේෂිත අවසර මත පමණක් ලබාගැනීමට අවැසි ඒවා නිසා, ඒමඟින් පාඨකයාට අලුත් මතකයක් ඉතිරි කරයි.
පොත් කියවන මුද්දර ආකෘතිය යටතේ මෙවර අප සාකච්ජා කරන්නේ ”සබැඳියාවේ පුදබිම්” කෘතියේ ”නුවරක පෙරළිය” පරිජේදය යි. මෙම කොටස හරහා හසිනි ආගමික වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන තුනක් ඔස්සේ මහනුවර ගෘහ නිර්මාණ ශිල්පය ගවේෂණය කරයි. එනම්, ශාන්ත පාවුළු දෙව්මැදුර, ත්‍රිත්ව විද්‍යාලයේ දේවස්ථානය සහ 14 වන සියවසේ ඇම්බැක්කේ දේවාලය හා ඒ හා බැඳුණු ජනප්‍රවාද ආශ්‍රිත ලී කැටයම් ය.
කතුවරිය පවසන පරිදි ”ත්‍රිත්ව දේවස්ථානය යනු ශ්‍රී ලංකාවේ ඇංග්ලිකන් පල්ලියක් සැලසුම් කිරීමේදී දේශීය ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කළ මුල්ම හා හොඳම නිදසුනයි”. පසුකාලීනව ඩේවිඩ් පේන්ටර් විසින් මෙම දේවස්ථානයේ නිර්මාණය කරන ලද බිතු සිතුවම් වල ද ලාංකික උරුමයන්ගේ හා සංස්කෘතියේ ආභාෂය පැහැදිලිව පෙන්නුම් කරයි. ඇඹැක්කේ දේවාලයේ වූ වාස්තු විද්‍යාත්මක හා ආගමික දෙමුහුන් ලක්ෂණ කතුවරිය විසින් ඉතා විශිෂ්ට ලෙස ග්‍රහණය කර ගෙන ඇති අතර, දළදා මාලිගාවේ රාජකීය ප්‍රේක්ෂකාගාරය, ත්‍රිත්ව විද්‍යාලීය දේවස්ථානය සහ කොළඹ නිදහස් අනුස්මරණ ශාලාව කෙරෙහි ඇම්ඹැක්කේ දේවාලයේ හේවිසි මණ්ඩපය කර ඇති බලපෑම පිළිබඳ අපූරු කතන්දරයක් ඇය කියාපායි.
1825 දී කල්කටාවේ දෙවන අගරදගුරු රෙජිනෝල්ඩ් හීබර් පියතුමා මහනුවරට පැමිණියේ එවකට ආණ්ඩුකාරවරයා වූ එඩ්වඩ් බාන්ස්ගේ ආරාධනයකට අනුවය. ශ්‍රී දළදා මාලිගාවට ඔබ්බෙන් වූ මඟුල් මඩුවේ සංවිධානය කර තිබූ විශේෂ දේව මෙහෙයක් සඳහා පියතුමාව ගෙන්වූ අතර, ඊට බෞද්ධයන් නොකැමැත්ත පළකල බව ද ඉතිහාසයේ සඳහන් කරයි. එයිඑතරම් ගැලපෙන තැනක් නොවූ බවත්, මහනුවර ක්‍රිස්තියානි ප්‍රජාවට සුදුසු පරිදි, සුදුසු තැනක, වඩා සුදුසු ලෙස නිර්මිත දේවස්ථානයක් තිබිය යුතුයි යන්න ආණ්ඩුකාරවරයාට දැන්වූ බවත්‘ ඉතිහාසයේ සඳහන්ය. එය ක්‍රිස්තියානි වත්-පිළිවෙත් සපිරීමටිඑතරම් ගැලපෙන තැනක්’ නොවන බව හීබර් පියතුමා ට ඉවෙන් මෙන් දැනුන බව කෘතියේ සඳහන් වේ. පියතුමාගේ මෙම අදහස් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නේ ඉන් බොහෝ කාලයකට පසුවය. ඒ 1843 දී බි්‍රතාන්‍ය යටත්විජිත කාර්යාලය විසින් අත්පත් කරගෙන තිබූ දළදා මාලිගාවට යාබද ඉඩමක් පල්ලිය සඳහා වෙන්කර දීමෙන් ය.
~ මඟුල් මඩුව ~  
ලාංකීය රජවරුන් රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතුරෙන් තවමත් ජීවමානව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් වශයෙන් දළදා මැදුර ආසන්නයේ ඇති මඟුල් මඩුව හැඳින්විය හැකි ය. උඩරට වාස්තු විද්‍යාව අනුව නිර්මාණය කළ මෙම මඟුල් මඩුව පත්තිරිප්පුව ද නිර්මාණය කළ දේවේන්ද්‍ර මූලාචාරීන් ගේ නිර්මාණයකි. මෙය ශ්‍රී දළදා මාලිගාවටත්, රජ මාලිගා පරිශ්‍රයටත් මැදිව පිහිටා ඇති උඩරට දැව කැටයම් නිර්මාණ ශිල්පීන්ගේ අපූර්වයකි.
1815 දී උඩරට වංශාධිපතියන්, බි්‍රතාන්‍යයන් හා එක්ව ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කල මඟුල් මඩුව තරම් දේශපාලන කුමන්ත්‍රණ සඳහා භාවිතා කළ වෙනත් ගොඩනැගිල්ලක් නැති තරම්ය. 1815 දී ඉංග්‍රීසින් හා වංශාධිපතීන් ක⁣ළේ උඩරට ගිවිසුම කියවා ඉදිරිපත් කිරීම පමණක් බවද තවත් තැනක සඳහන් වෙයි. 
රජවරුන් තම යුද අධිකාරම්වරුන් මෙන්ම නිලමේවරුන් සමඟ රාජ්‍ය පරිපාලන කටයුතු පමණක් නොව, අධිකරණ කටයුතු පවා ගෙන ගියේ මෙම ස්ථානයේ දී බැවින්, මෙම ගොඩනැගිල්ල ”මහ නඩුව” යන නමින් ද එදා හැඳින් වී ඇත.
කැප්පෙටිපොල මහා දිසාව සහ මඩුගල්ලේ නිලමේතුමන්ට මරණ දඬුවම ලබාදීමට තීන්දු කෙරුණේ ද මඟුල් මඩුවේ දීය. 1970 නොවැම්බර් 26 වන දින කැප්පෙටිපොල දිසාවේ  සමරු මුද්දරය නිකුත් කර තිබේ.
1875 දී හත් වන එඩ්වඩ් රජු ලෙසින් කිරුළු පැළඳි එංගලන්තයේ වේල්ස් කුමරුගේ ලංකා ගමනයේ දී ඔහුව පිළිගැනීමේ විශේෂ උත්සවයක් මෙහි පවත්වා ඇති අතර, කුමාරයාගේ පැමිණීම නිමිති කොට ඉංග්‍රීසි ආණ්ඩුව මඟුල් මඩුවට තවත් කොටසක් එකතු කර තිබේ.
උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බි්‍රතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවේ ප්‍රධාන රාජ්‍ය සංකේතය වන සිංහාසනය සහ ඔටුන්න ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් ද ඉංග්‍රීසීහු රැගෙන ගියහ. 1934 සැප්තැම්බර් මාසයේ දී සිංහාසනය සහ ඔටුන්න එකල බි්‍රතාන්‍යයේ  රජකම් කළ පස්වැනි ජෝර්ජ් රජුගේ ගේ පුත් කුමරුවකු වූ ග්ලොස්ටර් ආදිපාදවරයා විසින් ගෙනැවිත් මහනුවර මඟුල් මඩුවේදී නැවත ලංකාවට බාර දෙන ලදී. සිංහාසනය සහ ඔටුන්න සමරු මුද්දර යුගලය 1977 ජනවාරි 18 වැනි දින නිකුත් කරන ලදී.
~ ඇම්බැක්කේ දේවාලය ~
ඇම්බැක්කේ දේවාලය යනු බෞද්ධයන් අතර කතරගම දෙවියන් විදිහටත්, හින්දූන් අතර මුරුගන් දෙවියන් විදිහටත් ප්‍රසිද්ධ දෙවියන් වෙනුවෙන් කැප වූ ආගමික දේවස්ථානයකි.
මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුනුවර ඇම්බැක්කේ ග්‍රාමයේ ඇම්බැක්කේ දේවාලය පිහිටා තිබේ. ක්‍රි.ව. 1357 සහ 1374 අතර කාලයේ ගම්පොළ රාජධානියේ රජ කල 3 වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම දේවාලය ඉඳි කල බවට ඉතිහාසයේ සඳහන් ය. ඇම්බැක්කේ දේවාලයේ ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ එහි දක්නට ලැබෙන හේවිසි මඩුවයි. ශ්‍රී ලංකාවේ හමුවන විශිෂ්ඨතම ලී කැටයම් වලින් එය සමන්විතව තිබේ. ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් 514 කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව මූලාශ්‍ර වල සඳහන් වේ. මෙම ඉතා උසස් තත්වයේ ලී කැටයම් ලංකාවේ වෙනත් කිසිඳු තැනක දක්නට නොලැබේ.
මෙම දෙවොල ලී කැටයම් අතින් පමණක් නොව, ලීයෙන් ම නිම කළ එහි පියස්ස ද විශ්ව කර්ම නිර්මාණයකි. පරාල 26ක් එක ලී ඇණයකින් සම්බන්ධ කළ මඩොල් කුරැපාව මෙහි ඇති විශේෂත්වයයි. වහල සෙවිලි කිරීමට භාවිත කර ඇත්තේ “පෙති උළු” නම්  විශේෂ උළු වර්ගයකි. දිග්ගෙය අඩි දෙකහමාරක් පමණ උස් වූ අඩිතාලමක් මත තනා ඇත. මෙහි කැටයම් කළ ගම්මාළු ලී කණු 32ක් වෙයි. කුලුනු හිසෙහි මුතුදැල් මෝස්තරයක් ද ඇත. කුලුනු පාද අටපට්ටම් ය. චතුරශ්‍රය පෙන්වන තැන නාගබන්ධන හා ගැටලියපත් මෝස්තරය හඳුනාගත හැකිය. 
1979 මැයි 28 වැනි දින ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් නමින් සමරු මුද්දර දෙකක් නිකුත් කර තිබේ.
~ කොළඹ නිදහස් චතුරශ්‍රය ~ 
1948 දී ප්‍රථම නිදහස් උත්සවය දැනට නිදහස් මන්දිරය පිහිටි භූමියේ ඉඳි කෙරුණු තාවකාලික ගොඩනැගිල්ලක සැමරීමෙන් අනතුරුව, නිදහසේ අභිමානය මතුවන පරිදි අනුස්මරණ සිහිවටනයක් ඉඳි කළ යුතු බව අගමැති ඩී. එස්. සේනානායක ඇතුළු නායකයෝ තීරණය කළහ. 
රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ටොම් නෙවිල් ජෝන්ස්ගේ සභාපතීත්වයෙන් යුතු ගෘහ නිර්මාණ ශිල්පීන් අට දෙනකුගේ කමිටුවකට නිදහස් මන්දිරය ඉඳි කිරීමේ කටයුතු භාර වූ අතර, එය සම්බන්ධීකරණය කළේ රජයේ වැඩ පිළිබඳ ඇමැති සර් ජෝන් කොතලාවල මහතායි. ඒ අනුව මහනුවර මඟුල් මඬුවේ ආකෘතියට සමාන රටේ අභිමානය ඔප් නැංවෙන ගොඩනැගිල්ලක් සැලසුම් කෙරුණි. 1949 පෙබරවාරි 4 වැනි දින, එනම් දෙවැනි නිදහස් සැමරුම් උළෙලේ දී, නිදහස් මන්දිරය තැනීම සඳහා අගමැති ඩී. එස්. සේනානායකයන් විසින් ප්‍රවාහන හා රජයේ වැඩ පිළිබඳ ඇමති ජෝන් කොතලාවලයන් සමඟ මුල්ගල තබන ලදී.
විශාල ශාලාවකට  මධ්‍යයේ ඉඩ තබා දෙපසට කුලුනු පේළි දෙක බැගින් පේළි හතරක් වන අන්දමට සම්පූර්ණ කුලුනු හැටකින් සමන්විත වූ මෙම ගොඩනැගිල්ල, මහනුවර මඟුල් මඬුවේත්, ඇම්බැක්කේ දේවාලයේත් දැව කුළුණු වල ඇති පරිදි සතරැස් කැටයම් සහිත ව නිර්මාණය කරන ලදී.
”ඈත අතීතයක සිට ක්‍රම ක්‍රමයෙන් පරිණාම වෙමින් ආ මේ ගෘහනිර්මාණ කලා සම්ප්‍රදායන් වරෙක ගම්පළ යුගයේ ගල් කලුණු සහිත රාජ සභාව තුළ දිස් වී, ඇම්බැක්කේ හේවිසි මණ්ඩප ශාලාව බවටත්, එය ක්‍රමයෙන් විකාශනය වී මගුල් මඩුව බවටත්, ඉන් ත්‍රිත්ව දෙව් මැදුරත්, පස් සියවසක යටත්විජිතභාවය නිමවා ලද නිදහස පිළිබිඹු කරන කොළඹ නිදහස් චතුරශ්‍රය බවටත් පත් වෙනවා” (හපුතන්ත්‍රි සහ ද සිල්වා, 2025, පි. 39).
20 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් නිදහස් චතුරශ්‍රය සිතුවම් කල සමරු මුද්දරයක් 1968 පෙබරවාරි 04 වැනි දින නිකුත් විය.
~ ශුද්ධ වූ ත්‍රිත්ව දෙව් මැදුර ~
1905 පෙබරවාරි 17 වැනි දින ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා විසින් සිලෝන් ඔබ්සර්ව :(Ceylon Observer)  පුවත්පත වෙත ”උඩරට ප්‍රධානීන් වෙත විවෘත ලිපියක් :(Open Letter to the Kandyan Chiefs) නමින් ලිපියක් යොමු කරන ලදී. මෙමඟින් නොසලකා හැරීම සහ අනිසි ප්‍රතිසංස්කරණ උත්සාහයන් හේතුවෙන් වේගයෙන් පරිහානියට පත්වෙමින් තිබූ පුරාණ ගොඩනැගිලිවල අතුරුදහන් වෙමින් පවතින වාස්තු විද්‍යාත්මක උරුමය ආරක්ෂා කරන ලෙස ඔහු උඩරට ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය. මෙහි ප්‍රමුඛ අරමුණ වූයේ ලංකාවේ උඩරට ප්‍රදේශයේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශෛලීන්, ශිල්ප සහ කලාත්මක වටිනාකම් සංරක්ෂණය කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කිරීමයි. ආනන්ද කුමාර ස්වාමි සමරු මුද්දරය නිකුත් කරන ලද්දේ 1971 ඔක්තෝබර් 29 වැනි දිනයි.
ආචාර්ය කුමාරස්වාමිගේ ආයාචනයෙන් වසර දහහතකට කට පසු, මහනුවර ත්‍රිත්ව විද්‍යාල භූමියේ එක් කෙළවරක අසාමාන්‍ය දෙව් මැදුරක් අපට මුණ ගැසෙයි. ශුද්ධ වූ ත්‍රිත්ව දෙව් මැදුර ලෙස හැදින්වෙන මෙම ලස්සන කුඩා ගොඩනැගිල්ල ත්‍රිත්ව විද්‍යාලයටම වෙන් වූ දේවස්ථානයකි. ත්‍රිත්ව දේවස්ථානය සඳහා මුලපිරීම ගනු ලැබුවේ එවකට විද්‍යාලයේ විදුහල්පතිවරයා වූ පූජක ඒ. ජී. ෆ්‍රේසර් විසිනි. දේවස්ථානයේ ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ උප විදුහල්පති පූජක එල්. ජේ. ගැස්ටර් ය. විදුහල්පති සහ උප විදුහල්පති යන දෙදෙනාම ශ්‍රී ලාංකික සංස්කෘතිය හා උරුමය අගය කළ සහ ගරු කළ බැවින්, දිවයිනේ පුරාණ රාජධානිවලින් ඊට අභාෂයක් ලබා ගන්නා ලදී. ත්‍රිත්ව විද්‍යාල දේවස්ථානයේ අනුරාධපුර, පොළොන්නරුව සහ මහනුවර  යුගවල වාස්තු විද්‍යාත්මක හා නිර්මාණ සම්ප්‍රදායන් පිළිබිඹු කරන බැවින්, ඉඳි කිරීම් ව්‍යපෘතිය ”මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සඳහා සිංහල පල්ලියක්” ලෙස හැඳින් වූ බව සඳහන්ය.
”ඇත්තෙන් ම ඇන්ග්ලිකානු පල්ලියක් දේශීය කලා සම්ප්‍රදායන් හා ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කිරීමේ පළමු හා හොඳම උදාහරණය අදටත්, ත්‍රිත්ව දෙව් මැදුරයි. ඒ සඳහා මූලික ආවේශය හා අභාෂය ලබා දෙන්නේ අන් කවරක් නොව සියවසකට පෙර හීබර් අගරදගුරු නුසුදුසු යැයි ප්‍රතික්ෂේප කරපු මගුල් මඩුවයි. ඉතිහාසයේ උත්ප්‍රාසයන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කාලයක් සමඟයි. බාන්ස් ආණ්ඩුකාරවරයාට මගුල් මඩුවේ කිසිම ලස්සනක් නැතැයි කියූ හීබර් පියතුමා ත්‍රිත්ව දෙව් මැදුර දුටුවා නම්?” (හපුතන්ත්‍රි සහ ද සිල්වා, 2025, පි. 35).



© kiyawanamuddara 2020 | Solution by 4meli.com