25
June
2023
බිතාන්‍යයන් මෙරට පාලනය තහවුරු කර ගත් දා සිටම මෙරටද එංගලන්තය ලෙස හැඩ ගස්වා ගැනීමට උත්සාහ කරන ලදි. මෙරට කාලගුණය, දේශගුණය, සමාජ සංස්කෘතික පරිසරය ඊට බාධාවක් වූ නමුත් නුවරඑළිය එංගලන්තයේ දේශගුණයට, පාරිසරික ලක්ෂණ යන්ට සමාන වූ නිසා බිතාන්‍යයන්ට එංගලන්තයේ ඇති අකාරයේ නගරයක් එහි ස්ථාපිත කිරීමට අවස්ථාව උදාවිය. මේ නිසා බිතාන්‍යයන් මෙරට හැරගොස් බොහෝ කල් ගත වූවද අදටත් පුංචි එංගලන්තය ලෙසින් එංගලන්තයේ නගර ලක්ෂණ සහිත නගරයක් ලෙස දියුණු වීමට නුවරඑළියට හැකියාව ලැබී තිබේ.
මේ එංගලන්ත ලක්ෂණ වඩාත් හොඳින් පෙන්වන්නේ නුවරඑළියේ පවතින බිතාන්‍ය සම්ප්‍රදායේ ඉදිකිරීම්ය. ත්‍රිකෝණාකාර, පිරමිඩාකාර හැඩ තල වලින් යුතු මේ ගොඩනැගිලි නුවරඑළියට එංගලන්තයේ හැඩරුව ගෙන එනවා මෙන්ම සුවිශේෂි අණන්‍යතාවයක්ද ගෙන එයි. වත්මන් ලංගම ඩිපෝව ලෙස භාවිතා වන නුවර එළිය පැරණි දුම්රිය ස්ථානය, නුවරඑළිය තැපැල් කාර්යාලය ඒ සඳහා ඇති හොඳම උදාහරණයන්ය. මේ අතරින් නුවරඑළිය නගර මධ්‍යයේ බස් නැවතුම් පල අසල පිහිටා ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය නුවරඑළිය නගරයේ අනන්‍යතාව ලෙස ඉතා ඉහල ආකර්ශණයක් දිනා ගැනීමට සමත් වූ, අදටත් ඒ අයුරින්ම භාවිතා වන බිතාන්‍ය යුගයේ ඉදිකල ගොඩනැගිල්ලකි. නුවරඑළිය නගරයට එන දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ශණයට ලක්වූ ප්‍රධාන නැරඹුම් ස්ථානයකි.
ඒ වන විට වෙනත් ස්‌ථානයක පිහිටා තිබූ තැපැල් කාර්යාලය වෙනුවට රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් මගින් 1894 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකර තිබේ. ටියුඩර් එඩ්වර්ඩියන් (Tudor Edwardian) ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අනුව ඉදිකර ඇති මෙම තැපැල් කාර්යාලය රතු පැහැ ගඩොලු භාවිතයෙන් ඉදි කල පිරමිඩාකාර වහල සහිත (Tudor-style two-storey red-brick building) රක්ත වර්ණයෙන් බබළන දර්ශනීය ගොඩනැගිල්ලකි. මෙහි ඉදිකිරීම් අතුරින් ගොඩනැගිල්ලට සම්බන්ධව නිර්මාණය කොට ඇති ඔරලෝසු කණුවට සුවිශේෂී වැදගත් කමක් හිමිවන අතර එම ඔරලෝසුව අදටත් ක්‍රියාකාරී තත්වයේ පවතී. අඩි 40 පමණ උසැති මෙම ඔරලෝසු කණුවේ ඔරලෝසුව පිත්තල හා වානේ වලින් නිර්මාණය කර ඇති අතර එය ක්‍රියාත්මක වන්නේ බර ලඹ කැට මගිනි. මෙම තැපැල් කාර්යාලය තුල බිතාන්‍ය යුගයේම භාවිතා කල තැපැල් පෙට්ටි ඇතුළු තැපැල් කාර්යාලයේ කටයුතු සඳහා භාවිතා කල උපකරණ දක්නට හැකිය. එවකට තැපැල් කාර්‍යාලය ඉදිරිපිට ස්ථාපිත කරන ලද බිතාන්‍යයෙන් ගෙනෙන ලද තැපැල් කණුවද තවමත් මෙම කාර්යාල සංකීර්ණය ඉදිරියේ දැක ගත හැකි අතර තැපැල් කාර්යාල පරිශ්‍රය තුල එකල භාවිතා කල විශාල ලී තැපැල් පෙට්ටියක් සහ වේවැල් වලින් නිර්මාණය කල පැරණි තැපැල් පෙටිටියක් ද දක්නට ලැබේ.
නුවරඑළියට පැමිණෙන සංචාරකයින් මෙම තැපැල් කාර්යාලය හරහා සිහිවටන ලෙස තැපැල් පත්, ලිපි යැවීමට කැමැත්තක් දක්වන අතර මෙහි ඇති සංචාරක ආකර්ශණය නිසා 2012 දී තැපැල් ස්ථානාධිපතිවරයාගේ නේවාසිකාගාරය වූ තැපැල් කාර්යාලයේ ඉහළ මාලය සංචාරක නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් බවට පත් කර තිබේ. මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ඇති සුවිශේෂි වටිනාකම හේතුවෙන් 1990 දෙසැම්බර් 26 වෙනිදා,ශ්‍රී ලංකා තැපැල් සේවයේ 175 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය තැපැල් කාර්‍යාලයේ ඡායාරූපයක් ඇතුළත් රු.10 වටිනාකමකින් යුත් මුද්දරයක්ද නිකුත් කොට තිබෙන අතර 2016.12.29 දින මුද්දර කාර්යාංශයේ අංශයක් එහි ස්ථාපනය කිරීම නිමිත්තෙන් නුවරඑළිය තැපැල් කාර්යාලයේ රුව සහිත රු 150 ක වටිනාකමක් සහිත විශේෂ සමරු කවරයක් ද නිකුත් කර තිබේ.
මේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පුරාවිද්‍යා ආඥාපනත යටතේ ආරක්‌ෂිත ස්‌මාරකයක් ලෙස, 2007 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවේ අංක 1486 ලේඛන ගත කර ඇති ජාතික උරුමයකි. මෙම එම ගොඩනැගිල්ල බොහෝ දෙනෙකුගේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් වී තිබෙන අතර මෙවැනි ගොඩනැගිලි මෙරට ඇත්තේ සීමිත ප්‍රමාණයකි. එබැවින් මෙම ගොඩනැගිල්ල තැපැල් පුරාණය විදහා දැක්වෙන කෞතුකාගාරයක් සහිත සංචාරක මධ්‍යස්ථානයක් සඳහාද යෝග්‍යතාවක් සහිත තැපැල් උරුමයකි. මෙය තැපැල් පුරාණය ගැන මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ හදාරන විද්‍යාර්ථයන් සඳහා වටිනා පර්යේෂණ මධ්‍යස්ථානයකි. මේ නිසා නුවරඑළියේ නගර සංඛේතයත් බඳු මේ ගොඩනැගිල්ල රැක ගැනීමේ වගකීම සියළුම පුරවැසියන් සතුව පවතී.
අසිරු කරුණාරත්න
© kiyawanamuddara 2020 | Solution by 4meli.com