14
November
2022
පෘතුගාලයේ බාර්සිලෝස්හි ඩිජිකොම් 2022 සැලසුම් සහ ඩිජිටල් සන්නිවේදනය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී (Digicom 2022 International Conference on Design and Digital Communication, Barcelos, Portugal) ඉදිරිපත් කරන ලද "සංස්කෘතියේ කෞතුක වස්තු; ශ්‍රී ලංකාවේ වෙසක් තැපැල් මුද්දර" (Artefacts of Culture; Vesak Postage Stamps of Sri Lanka) නම් පර්යේෂණ පත්‍රිකාව, සැලසුම් සහ නවෝත්පාදනය පිළිබඳ ස්පින්ගර් මාලාව (Springer Series in Design and Innovation - SSDI) ප්‍රකාශනයේ ඇතුලත්ය. තාක්‍ෂණික සහ විධිමත් නවෝත්පාදනයන්, ඩිජිටල් තාක්‍ෂණයන් සහ නව ද්‍රව්‍ය යෙදීම පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරමින් නිෂ්පාදන සැලසුම්, අභ්‍යන්තර සැලසුම් සහ සන්නිවේදන සැලසුම් යන ක්ෂේත්‍රවල නවෝත්පාදන සහ නවතම වර්ධනයන් පිළිබඳ ප්‍රකාශන මෙහි අන්තර්ගතය. ශ්‍රී ලාංකීය තැපැල් මුද්දරය සන්නිවේදන මෙවලමක් ලෙස භාවිතා කිරීමේ විභවයන් පිළිබඳව සිදුකරන පර්යේෂණ මාලාවක එක් නියැදියක් ලෙස තෝරා ගනු ලැබූ "වෙසක් මුද්දර" නියැඳිය ලංකාවට අලුත් ආකාරයේ පර්යේෂණ ප්‍රවේශයක් පෙන්වා දෙනු ලබයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ සමුද්‍ර ද සිල්වා සහ සුමන්ත්‍රී සමරවික්‍රම එක්ව ඉදිරිපත් කරන ලද මෙම පර්යේෂණයේ පදනම ලෙස1969 සිට 2020 දක්වා ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් නිකුත් කරන ලද වෙසක් සමරු මුද්දර සලකා ඇත. තෝරාගත් මුද්දර නිදර්ශන මගින් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ කෞතුක භාණ්ඩ ලෙස වෙසක් මුද්දර සහ එහි යෙදීම් විශ්ලේෂණය කෙරේ. මෙහිදී වෙසක් මුද්දර කට්ටල තුනක් සහිත සිද්ධි අධ්‍යයන තුනක් විමර්ශනය කර තිබෙන අතර, සංස්කෘතියට ආවේණික තොරතුරු ඒවායේ සටහන් වී ඇති ආකාරය විමසීම එහි ප්‍රමුඛ අරමුණ වී තිබේ. මෙම සිද්ධි අධ්‍යයනය සඳහා යොදාගනු ලැබූ සමරු මුද්දර නිකුතු ත්‍රිත්වය නිර්මාණය කර ඇත්තේ රේමන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලද එල්. ටී. පී. මංජු ශ්‍රී, සනත් රෝහණ වික්‍රමසිංහ සහ පුලස්ති එදිරිවීර යන ප්‍රවිණයින්ය.
ශ්‍රී ලංකාවේ වෙසක් සමරු මුද්දර වෙසක් සංස්කෘතියේ ද්‍රව්‍යමය සහ ද්‍රව්‍ය නොවන අංශ දෙකම නිරූපණය කරන බව සහ වෙසක් මුද්දර බුදු දහමේ දෘෂ්ථිවාදාත්මක අර්ථයන් සහ සාරධර්ම ප්‍රේක්ෂකයින් වෙත ගෙනයාමට සැලසුම් කර ඇති ආකාරය අධ්‍යයනයෙන් අනාවරණය වන බව මෙම පර්යේෂණ සක්ෂිප්තයෙන් දැක්වේ.
මෙම පර්යේෂණය සහ මුද්දර නිර්මාණය කිරීම සඳහා දායක වු සැමට "කියවන මුද්දර" අපගේ සුබපැතුම් ! ඊට අපටද මුලාශ්‍ර සැපයීමට හැකිවීම ගැන අප සතුටු වෙමු.
මෙම පර්යේෂණය විෂය පිළිබද උනන්දුවක් දක්වන සැමට ලාංකීය තැපැල් මුද්දරය දෘශ්‍ය සන්නිවේදන මෙවලමක් (a visual communication tool) ලෙස භාවිතා කිරීමේ විභවයන් හඳුනා ගැනීම සඳහා තවත් ඉදිරි පියවරක්ම වේවායි ඉත සිතින් පතමු.
© kiyawanamuddara 2020 | Solution by 4meli.com