11
October
2015
ක්‍රමවත්ව මුද්දර එක්රැස් කිරීම සහ ඒ පිළිබඳ අධ්‍යයන කිරීමේ විනෝදාංශය ෆිලටලි (Philately) යන පාරිභාෂිතයෙන් හදුන්වනු ලැබේ. ඕනෑම වයස් කාණ්ඩයකට ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට තම විවේකය වඩාත් ඵලදායි අයුරින් ගතකිරීමට තෝරාගත හැකි පහසුම මග මුද්දර එක්රැස් කිරීමයි.
මුද්දර විනෝදාංශය වර්ෂ 1841 සිට ලොවපුරා ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වූ විනෝදාංශය යි. එය විනෝදාංශයේ රජු නැතහොත් රජවරුන්ගේ විනෝදාංශය King of Hobbics and Hobby of Kings ලෙසින් හදුන්වයි.
මුද්දර එකතු කිරීමේ විනෝදාංශය ඉතා සරල ලෙස, රැස්කිරීම - Acquisition, සංවිධානය කිරීම - Organization, ප්‍රදර්ශනය -Display, අධ්‍යාපනය -Study වශයෙන් වර්ග කිරීමට හැකිය.
මුද්දර එකතු කිරීම ඉතා ජනපි‍්‍රය විනෝදාංශයක් වුවද තොරතුරු මූලාශ‍්‍රයක් වශයෙන් නැතහොත් අධ්‍යාපනික උපකරණයක් වශයෙන් භාවිතය වර්තමානයේදී සැලකිය යුතු මට්ටමක නොපවතී. නමුත් අතීතයේදී මෙම තත්වය මීට හාත්පසින්ම වෙනස් ය.
විනෝදය සඳහා තැපැල් මුද්දර එකතු කිරීම අද බොහෝ රටවල ජනපි‍්‍රයව පවත්නා දෙයකි. එයින් ලබාගත හැකි ප‍්‍රයෝජන ඉමහත්ය, ඉතිහාසය අතින්ද, විද්‍යාව අතින්ද, භූගෝල ශාස්ත‍්‍රය අතින්ද, පරිසරය අතින්ද පෘථුල සාමාන්‍ය දැනීමක් ඇතිකර ගැනීමට තැපැල් මුද්දර එකතු කිරීමෙන් හැකිව තිබේ.
“තැපැල් මුද්දර එකතු කිරීම විනෝද කි‍්‍රයාවන් අතර ඉතා උසස් කොට සැලකිය හැකි දෙයකි. අප තුළ පිරිසිදු අදහස් ඇති කරලීමට උපකාරී වෙයි. ඕනෑම කෘත්‍යයක් කිසියම් පිළිවෙලක් තිබිය යුතු බව එය අපට පෙන්වා දෙයි. ඉතිහාසය, භූගෝල ශාස්ත‍්‍රය හා විද්‍යාව වැනි විෂයයන් කෙරෙහි දක්වන ඇල්ම තැපැල් මුද්දර එකතු කිරීමෙන් වැඩි වර්ධනය වන්නේ මැයි”.
ලපටිපෙළ - ඉරිදා ලංකාදීපය - 1952 පෙබරවාරි 03
50 සහ 60 දශකවලදී ප‍්‍රබෝධමත් වූ මුද්දර සාහිත්‍යය හමුවේ මුද්දර එකතු කිරීමේ විනෝදාංශ ඉතා ඉහල පිළිගැනීමකට ලක්විය. “ලපටිපෙළ“ වැනි මුද්දර සඳහාම වෙන්වූ ළමා පුවත්පත් වෙළඳපොළට පැමිණෙනුයේ මුද්දර විනෝදාංශයේ යෙදෙන දුවා දරුවන්ගේ සංඛ්‍යාව ජාතික මට්මමෙන් ඉහළ තලයක පැවතුන බැවිනි.
නමුත් 70 දශකය අවසාන වන විට පැවැති විවෘත ආර්ථික වෙළෙඳපොළ රටාව සමගින් මුද්දර සාහිත්‍ය කලාව පමණක් නොව මෙරට සංස්කෘතිය ද උඩුයටිකුරු විය. එකී සංස්කෘතික පසුබෑම හමුවේ මුද්දර සාහිත්‍යයේ අගය ක්‍රමයෙන් වියැකී ගිය මුත් පුරෝගාමී සාහිත්‍යකරුවන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම යටතේ එය තවමත් නොනැසී පවතී.
“දැනුම බෙදන - නුවණ ගෙනෙන, මුද්දර ලොව, හඳුනගන්න” යන වදනේ අරුතින්ම හැඟවෙන පරිදි මුද්දරයේ අධ්‍යාපනික වටිනාකම හඳුනා ගැනීම මුද්දර කියවීමයි. එය පාසල් අධ්‍යාපනයෙන් පරිබාහිරව විෂයය දැනුම ලබා ගැනීම සඳහා ඉතා පහසුවෙන් කල හැකි ස්වෝත්සාහයෙන් ඉගෙනුම වැඩි දියුණු කර ගත හැකි ක්‍රමවේදයකි. “කියවන මුද්දර” මුද්දරයක ඇති තොරතුරු මූලාශ්‍රමය වටිනාකම සහ සෞන්දර්යාත්මක ඉගෙනුම් උපකරණයක් බව වඩාත් හොදින් පැහැදිලි කරන අධ්‍යාපනික ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යනය සඳහා නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා යෝජනා සැකසීමේදි ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ මෙසේ සඳහන් ය.
“පාසල් යාමේ හා ඉගෙන ගැනීමේ සැබෑ තෘප්තිය සෑම ළමයෙකුටම ලැබෙන පරිදි ගුරුභූමිකා වෙනස් විය යුතු අතර, ශිෂ්‍ය කේන්ද්‍රිය ක්‍රියාකාරකම්, සහයෝගි ගවේශණ, පරිසර සිද්ධි ආදි බහුවිධ ඉගැනුම් ක්‍රම භාවිතා කිරීම හරහා ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය සකස් විය යුතුය.”
පාසල් භූමිකාව තුල දුවා දරුවන්ගේ සන්නිවේදන හා මාධ්‍ය කුසලතාවයන් වර්ධනය කර ඔප්නැංවීම සඳහා තැපැල් මුද්දරය කදිම මූලාශ්‍රයකි. මුද්දරය විශ්වය දැකිය හැකි කැඩපතක් බඳුය. එය ලොව වටා තොරතුරු ගවේෂණය කරන්නන් හට නිමා නොවනා ආශ්වාදයක් ලබා දෙයි. තරඟකාරී අධ්‍යාපනික රටාව තුල කොටුවී සිටිනා පැසල් දරුවන්ට, විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථයින්ට සෞන්දර්යාත්මක රස විඳීමකට මුද්දර විනෝදය කදිම මාර්ගෝපදේශකයකි.
ස්වෝත්සාහයෙන්, කැපකිරීම් කරමින් යම් විෂයක් ඉගෙනීම සඳහා කිසියම් සමාජීය පෙළඹවීමක් තිබිය යුතුය. මෙම පෙළඹවීම සඳහා එකී විෂය සඳහා සමාජයේ පවතින සංවාද ප‍්‍රධාන වේ. මුද්දර කියවීම පිළිබඳ ගැඹුරින් විග‍්‍රහ කරන සමාජ සංවාද ආරම්භ කළ යුත්තේ මෙම පෙළඹවීම සඳහාය. ඕනෑම විෂයයක් අධ්‍යයනය කරන ප‍්‍රජාව කොටස් දෙකකින් සමන්විත වේ. එක් කොටසක් විෂයය මතුපිට තලයේ (Surface Level) අධ්‍යාපනයක නිරත වන අතර තවත් සමහරෙක් ගැඹුරු තලයේ (Deep Level) විමසුමක යෙදෙයි. මේ දෙපිරිසම විෂයයේ ව්‍යාප්තිය හා සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය පාර්ශ්වයන් ය.
මුද්දර එකතු කිරීම විෂය වශයෙන් සැලකූ විට එහි මතුපිට තලයේ අධ්‍යයනය ලෙස සැලකෙනුයේ මුද්දරයේ භෞතික තත්ත්වය හා ස්වරූපය හඳුනා ගැනීමයි. මුද්දරයේ හැඩය, නිකුත් කරන ලද රට, සැලසුම් වටිනාකම, වර්ණය, විදමන්, දිය සලකුණ, කඩදාසිය, මැලියම්, මුද්‍රණාලය, මුද්‍රණ දෝෂ, මුද්‍රණ ක්‍රමය මින් ප‍්‍රධානය.
මෙම භෞතික වටිනාකම් වලින් පරිබාහිරව මුද්දරය මගින් සංකේතීය පණිවිඩය, අදහස හෝ සංකල්පය අවබෝධකර ගැනීම හැදෑරීම හා එම අදහස බෙදාහදා ගැනීම හා ප‍්‍රතිපෝෂණය ගැඹුරු තලයේ අධ්‍යනයයි. මුද්දර කියවීම හරහා මෙම ගැඹුරු අධ්‍යයනය ඉතා පහසුවෙන් සිදු කළ හැකි අතර මුද්දරයෙන් සංකේතීය තේමාවට සෘජු හා වක්‍රව සම්බන්ධ සෙසු මුද්දර හා එකී පාර්ශ්වීය කරුනු ද මෙම අධ්‍යයනය මගින් තවදුරටත් වර්ධනය කරගත හැකිය.
මුද්දර විනෝදාංශය හරහා සංවර්ධනය වන ශික්ෂණයත් මුද්දර කියවීම මගින් ගොඩනැංවෙන ගවේෂණශීලිත්වයත් මානසික සංවර්ධනයෙහිලා මහඟු පිටිවහලක් වේ. දැනුම් පිපාසාවෙන් පෙළෙනා ඕනෑම අයෙකුට තම තමන්ගේ බුද්ධිමය හැකියාවන් වර්ධනයෙහිලා මුද්දර කියවීම මහෝපකාරී වන්නේය. කියවීම ජනපි‍්‍රය කර වීමේ මාධ්‍යයක් වශයෙන් ද මුද්දර කියවීමට ලපටිපෙළ හුරු කිරීම, තොරතුරු ගවේෂණය අධ්‍යයනය හා ඒ සඳහා වන ආකල්පය කුළුගැන්වෙන මූලාශ‍්‍රයක් වශයෙන් මුද්දර කියවීමේ සාර්ථකත්වය පහත සඳහන් නිදර්ශනය මගින් මනාව පහදාලනු ලබයි.
ජාතියේ සංකේතය බඳු වූ සීගිරිය පිළිබඳ තොරතුරු මුද්දර ආශ‍්‍රයෙන් ගොනු කර ගන්නා අයුරු මෙම නිදසුනින් පැහැදිලි කෙරේ. සීගිරිය සංකේත වශයෙන් භාවිත මුද්දර සහ එම තේමාවට ආනුෂාංශික තොරතුරු සහිත මුද්දර ද පෙළ ගස්වා ගැනීම ප‍්‍රථමයෙන් සිදු කළ යුතුය.
01. නිත්‍ය කාණ්ඩයේ රූප මුද්දර - 6 වන ජෝර්ජ් රජු සමය සීගිරිය පිළිබඳ ප්‍රථම මුද්දරය - 1938 පෙබරවාරි 01 - වටිනාකම ශත 10 යි.
02. විශ්ව තැපැල් සංගමයේ 75 වන වසර සමරුව - 1949 ඔක්තෝබර් 10 - වටිනාකම ශත 15 යි.
03. නිදහසින් අනතුරුව නිත්‍ය කාණ්ඩයේ මුද්දර - ප‍්‍රථම කොටස 1950 පෙබරවාරි 04 - වටිනාකම ශත 30 යි.
04. නිදහසින් අනතුරුව නිත්‍ය කාණ්ඩයේ මුද්දර - දෙවන කොටස සීගිරි අප්සරාව - 1954 මාර්තු 15 - වටිනාකම ශත 25 යි.
05. පුරා විද්‍යා සිය වස සමරුව - සීගිරිය පිළිබඳ ප‍්‍රථම ගුවන් ඡායාරූපය - 1969 අගෝස්තු 01 - වටිනාකම රු 1.00 යි.
06. ආනන්ද කුමාරස්වාමි සමරුව - 1971 ඔක්තෝම්බර් 29 - වටිනාකම ශත 05
07. ලෙන් හා විහාර චිත‍්‍ර - බුදු පුදනට යන සීගිරි ලලනාවෝ - 1973 සැප්තැම්බර් 03 - වටිනාකම රු 1.35 යි.
08. යුනෙස්කෝ - ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘතියේ ආරම්භක සමරුව - 1980 අගෝස්තු 25 - වටිනාකම රු 1.50 යි.
09. ජාතික වීර සමරුව ප‍්‍රථම ශී‍්‍ර ලාංකීය පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් - 1985 මැයි 22 - වටිනාකම ශත 60 යි.
10. ජාතික වීර දිනය සමරුම - මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් සමරුව - 1986 මැයි 22 - වටිනාකම ශත 75
11. එන්න ශී‍්‍ර ලංකාවට - ශී‍්‍ර ලංකාවේ සංචාරක ආකර්ෂණය - 1997 සැප්තැම්බර් 11 - වටිනාකම රු 20.00 යි.
12. ශී‍්‍ර ලංකාවේ පාරම්පරික ස්වර්ණාභරණ හා භාණ්ඩ, සීගිරි කුණ්ඩලාභරණය - 1998 අපේ‍්‍රල් 24 - වටිනාකම රු 17.00 යි.
13. ශී‍්‍ර ලංකා යුනෙස්කෝ ජාතික මණ්ඩලයේ 50 වසරක සැමරුම, ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම - 1999 නොවැම්බර් 16 - වටිනාකම රු 13.50 යි.
14. ශී‍්‍ර ලංකා නොවේ මෙවන් රටක් ලොවේ - සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනයෙහිලා භාවිතා කරනු ලබන සපු මුද්‍රාව - 2002 අගෝස්තු 28 - වටිනාකම රු 10.00 යි.
15. සාර්ක් කලාපීය සංචාරක වර්ෂය - 2005 ජූලි 29 - වටිනාකම රු 100.00 යි.
16. ශී‍්‍ර ලංකා - චීන 50 වසරක රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා - 2007 පෙබරවාරි 07 - වටිනාකම රු 50.00 යි.
17. අතීත ශී‍්‍ර ලංකාවේ මුද්දර පෙළ - මුල් අනුරාධපුර යුගය - 2008 අපේ‍්‍රල් 30 - වටිනාකම රු 40.00 යි.
18. 15 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව - 2008 අගෝස්තු 02 - වටිනාකම රු 15.00 යි.
19. ලෝක සංචාරක දිනය - 2011 සැප්තැම්බර් 27 - වටිනාකම රු 5.00 යි.
20. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වන සංවත්සර සමරුව - 2015 ජූලි 08 - එච්.සි.පි.බෙල් මහතා - වටිනාකම රු 10.00 යි.
ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙසින් වැජඹෙන සීගිරිය තරම් ලොව කලා විචාරකයින්ගේ මතවාදයන්ට ලක් වූ වෙනත්, පුරාවිද්‍යා ස්මාරකයක් නොමැති තරම්ය. අනුරාධපුර යුගයේ රජකම් කළ කාශ්‍යප රජු (කි‍්‍ර. ව. 477-495) සිය සොයුරු මුගලන් කුමරුගෙන් ආරක්ෂා වීම සඳහා සීගිරිය බලකොටුවක් බවට පත්කරගත් බව ප‍්‍රකට මතයයි.
සීගිරියේ මුද්දර කතාව ආරම්භ වනුයේ වසර 1938 සිටය. එනම් බි‍්‍රතාන්‍යයේ රජ කළ 6 වැනි ජෝර්ජ් රජුගේ පාලන සමයේදීම ය. එතැන් සිට වසර 2015 දක්වා මේ වන විට ලාංකීය මුද්දර ඉතිහාසය තුළ සහ ලෝකයේ මුද්දර කතන්දර වලට සීගිරියේ අසිරිය මුසු විය.
සීගිරි රාජධානියේ ඓතිහාසික පසුබිම, සීගිරියේ බිතු සිතුවම්, බිතු සිතුවම්වලින් නිරූපණය වන අරුත්, සීගිරි අප්සරාවන්ගේ වස්ත‍්‍රාභරණ, සිතුවම්වලට බලපෑ ඉන්දීය අජන්තා චිත‍්‍ර, සීගිරි කුරුටු ගී, සීගිරි රාජධානිය සහ අන්තර් ජාතික සබඳතා, සංචාරක කර්මාන්තයට ඇති බලපෑම, සීගිරිය පිළිබඳ පර්යේෂණ සිදු කළ දෙස් විදෙස් විද්වතුන්, යනාදී විවිධ ඉසව් ඔස්සේ තොරතුරු සම්පාදනය කර ගැනීම මගින් සීගිරිය පිළිබඳ පුළුල් පරාසයක දැනුමක් අත්පත් කර ගැනීමට හැකි වේ.
සීගිරිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ප‍්‍රථම වරට ඉදිරිපත් කළේ පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතාය. ඉක්බිතිව එම තනතුර දැරූ සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරියේ කුරුටු ගී පිළිබඳ විශේෂිත පර්යේෂණ සිදු කළේය. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි වැනි අසහාය විද්වතුන්ගේ මතයන් හැදෑරීම මගින් මතවාදී වශයෙන් සාරවත් දැනුමක් හිමි වේ. මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් වෙනස්ම වූ මතයක් ඉදිරිපත් කරයි. මෙම විද්වතුන්ගේ රුව සහිත තැපැල් මුද්දරද නිකුත් කර තිබීමෙන් එම අධ්‍යයනය තවදුරටත් දීර්ඝ වනු ඇත.
සීගිරිය නම් වූ මාතෘකාව මෙවන් විශාල ක්ෂේත්‍රයක් තුළ සාකච්ඡා කිරීම මගින් ගොනුකර ගතහැකි තොරතුරු ප‍්‍රමාණය ඉමහත්ය. මෙකී තොරතුරු නිකුත් කරන ලද මුද්දර වලට අනුකූලව ලේඛනගත කිරීමෙන් සාහිත්‍යයේ ප‍්‍රගමණයක් මෙන්ම මුද්දර කියවීමේ මෙහෙවරටම මඟපෙන්වීමක් වනු ඇත.
ඉංගී‍්‍රසි භාෂා දැනුම සහිත අන්තර් ජාල පහසුකම් සමන්විත නාගරික ජනතාවට මෙම තොරතුරු ඉතාමත් පහසුවෙන් පරිගණකයෙන් ලබාගත හැකිය. මෙරට බහුතර ජනතාවකට එවැනි පහසුකම් නොමැති පරිසරයක් තුළ නව දැනුම උකහාගත හැකි වනුයේ කියවීම හරහා පමණි. මුද්දර සාහිත්‍යයක් ගොඩනැංවීම මගින් මුද්දර එකතු කිරීම වැනි නිර්මාණශීලී විනෝදාංශයකට ජනතාවගේ ආකර්ෂණය හිමිවන අතර කියවීමේ අභිරුචියද සංවර්ධනය වන්නේය.
“නිසඟයෙන්ම කලාකාමී වු හදවත් ඇති මිනිස් සත්ත්වයා මුද්දරයෙහි ඇති සිතුවම් කලාව කෙරෙහි ලොල්ව, නිරසුම් කොට ඇළුම් හා බැඳුම් ගෙන එය තමා සතු කරගනී. අපි ඊට “සතුට” යැයි කියමු. එය නිතර නිතර විමසුම් කිරීමෙන් නිර්මාණශීලීව අගැයීම් සිදුවේ. එය “දැනුම” ලෙස අප හුවා දක්වමු. මෙම අගයීම් තුල සිදුවන ඉල්ලූම හා සැයපුම අතර වූ හිඩැස නම් කවරේද? එය “ප්‍රතිලාභ” නොවන්නේ ද? මුද්දර කලාවට ඔබ සමීප වනුයේ මේ අරමුණු ඉටුකර ගැනීමට නම් අප ඔබට සුබ පතමු.” මේ මුද්දර සාහිත්‍යය පොදු ජනතාවට හඳුන්වා දුන් ෆ්‍රැන්සිස් පි. ගුණසේකරයන්ගේ වදන්ය
© kiyawanamuddara 2020 | Solution by 4meli.com