28
February
2021
මුද්දරය යනු මානව ඉතිහාසයේ සංක්ෂිප්ත ලේඛනයකි. රටක අපේක්ෂා, අවශ්‍යතා, විශ්වාස හා පරමාදර්ශ පිළිබඳ විචාරාත්මක පිළිබිඹුවකි. එය අතීතයේ කැඩපතකි. අනාගතයේ පෙරනිමිත්තකි. සංස්කෘතික ප්‍රගතිය, කාර්මික මෙහෙවර, ගෘහස්ත සහ සිවිල් සමාජීය ජීවිතය පිළිබඳ මනා පෙළගැස්මකි. වෙනත් ලෙසකින් කියන්නේ නම්, ලෝකය සහ එහි වසන්නවුන්ගේ බහුවිධ ජයග්‍රහණ පිළිබඳ දිදුළන චිත්‍රයකි.”
මුද්දර පිළිබඳ ඒ අපූරු නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ ඇමෙරිකානු ජාතික ෆ්‍රැන්සිස් ජෝශප් ස්පෙල්මන් කාදිනල්තුමාය. මුද්දරය එදා, අද සහ හෙට කෘතිය පළ කරමින් 1950 දී ඉදිරිපත් කළ මෙම විවරණය මුද්දර පිළිබඳව ඉදිරිපත් වූ හොඳම සාහිත්‍ය විවිරණය සේ පිළිගැනේ.
ඉතා කුඩා මුද්දරයක විශාල කතාන්තරයක් සැඟවී තිබේ. ඒ කතාන්දරය කියවීම අධ්‍යාපනිකය. රසවත්ය.
මුද්දර එකතු කිරීම සමස්ථ ලෝකයේ කුඩා දරුවන්, වැඩිහිටියන් අතර ප්‍රචලිත විනෝදාංශයකි. ලංකාවේ පළමුවෙන්ම මුද්දරයක් භාවිත වූයේ 1857 දීය. එතැන් සිට අපේ අයත් මුද්දර එකතු කිරීම විනෝදාංශයක් කර ගත්තේය. තාත්තාගෙන්, පුතාට පරම්පරා ගණනාවක් හුවමාරු වෙමින් පැමිණි මුද්දර බූදල් ලංකාවේත් තිබේ.
කියවන මුද්දර
මුල් කාලයේ මුද්දර කියන්නේ සරල එකතුවකි. මුද්දරලෝලීන් ඒවා එකුතු කර ඇල්බම්වල දමා පරිස්සම් කළේය. පස්සෙන් පහු ලෝකයේ බොහෝ දෙනා අධ්‍යාපනික මූලාශ්‍රයක් සේ මුද්දර භාවිත කරන්නට පටන් ගත්තේය. මුලින්ම ඉතිහාසය ඉගෙන ගැනීමේ මූලාශ්‍රයක් ලෙස පංති කාමරයේ දී මුද්දර භාවිත කලේය. ලෝකයේ බොහෝ රටවල් ඉතිහාසය, සංස්කෘතිය, දේශපාලනය වැනි විෂයන් අධ්‍යනය සඳහා මුද්දරය මූලාශ්‍ර කරගන්නට පටන් ගත්තේය. මුද්දරයක් කියන්නේ ආකර්ශනීය පින්තූරයකි. ඒ නිසා දෘෂ්‍ය මාධ්‍යක් උපයෝගී කරගෙන අධ්‍යාපනය ලබා දීමේ සාර්ථක ක්‍රමවේදයක් සේ අද ලෝකයේ මුද්දරවලට පිළිගැනීමක් හිමි වී තිබේ.
දැනුම, තොරතුරු ගබඩා කිරීමට අපේ මනසේ යම් ඉඩ කඩක් වෙන් කළ යුතුය. කෝප්පයකට වතුර පුරවනවා මෙන් ඒ සීමිත ඉඩ ඇහිරී යයි. පිරී අවසන් කෝප්පයකට තවත් වතුර දැමිය නොහැකිය. ඒ නිසා අනවශ්‍ය දේවල් අපේ මනසේ තැන්පත් කර ගැනීමෙන් වැලකී සිටීම වැදගත්ය. අද අපේ මනස පිරී තිබෙන්නේ අනවශ්‍ය දේවල්වලිනි. මනසේ තිබෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම වැදගත්ය. ඒ සඳහා විවිධ ක්‍රම තිබේ. ක්‍රීඩාවටත්, කලාවටත්, භාවනාවටත් මනසේ අති අනවශ්‍ය දෑ ඉවත් කළ හැකිය. මනස වෙහෙසට පත් වූ විට ගීතයකට සවන් දීමෙන් සැනසීමක් ලැබෙන්නේ කලාවට ඇති ඒ හැකියාව නිසාය. මනසේ තිබෙන අනවශ්‍ය දෑ ඉවත් කර අවශ්‍ය දැනුමෙන් මනස පුරවා ගැනීම අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ නව නැඹුරුවකි. මුද්දර කියවීම අවශ්‍ය දැනුම මනසේ තැන්පත් කරගැනීමට අපූරු මුලාශයක් වන්නේය.
අධ්‍යාපනයේදී ආකෘති වැදගත්ය. විද්‍යාවේදී භාවිත කරන මිනිස් අනු රූ හා කාය ව්‍යවඡේදය වැනි දේ එලෙසම පෙන්වන ආකෘතීන්ය. ලෝක ගෝලය, ලොකු දේ කුඩා කර පෙන්වන ආකෘතියකි. කොරෝණා වෛරසය අපි දකින්නේ පොඩි දේ විශාල කිරීමෙනි. ඒ පොඩි දේ ලොකු කිරීමේ ආකෘතියයි. ඉතාම කුඩා මුද්දරයක් විශාලනය කර බැලූ විට එහි කියවීමට බොහෝ දේ තිබේ.
කියවන්නේ මෙහෙමයි
මුද්දර, මුද්දර අතර එකිනෙකට වෙනස් වූද, සමාන වූද කතා තිබේ. බී.එම්.අයි.සී.එච්. එකේ මුද්දරය, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතා වෙනුවෙන් නිකුත් කළ මුද්දරය, සිරිමා බණ්ඩාරණායක මැතිනිය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය, නොබැඳි ජාතීන්ගේ සම්මේලනය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය රුක් සටහනක් මෙන් එකිනෙකට සම්බන්ධය. එක මුද්දරයක කතාවක්, තව මුද්දරයක කතාවක් සමග සම්බන්ධ වන තැන හඳුනා ගැනීම මුද්දර කියවීමයි. එය සාහිත්‍යමය ප්‍රවේශයකි.
දශකයකට අධික කාලයක් කුඩා මුද්දර එක්ක ලොකු වැඩක් කළ කෙනෙකි නිරෝෂණ පීරිස්. නිරෝෂණ ප්‍රදර්ශන හා දේශන පවත්වමින් කියවන මුද්දර සංකල්පය ලංකාවේ ප්‍රචලිත කරන්නට කාලයක් තිස්සේ වෙහෙස වෙන්නෙකි.
“ලංකාවේ අය මුද්දර බලන්නේ අත් කාචයක් ආධාරයෙන්. කුඩා මුද්දරයක් ඒ3 ප්‍රමාණයට ලොකු කරලා මුද්‍රණය කළාම විස්තර හොඳින් බලාගන්න පුළුවන්. අධ්‍යාපන මෙවලමක් ලෙස මුද්දරයක් භාවිත කරන්නේ එහෙමයි. ඕනෑම මුද්දරයක නම, වයස, වටිනාකම, රට වගේ විස්තර හා ඡායාරූපයේ තොරතුරු ඕනෑම කෙනෙකුට පැහැදිලිව දකින්න පුළුවන්. ඒ විස්තරවලට අපි කියනවා මුද්දරයේ මතුපිට විස්තර කියලා. මුද්දරයේ යටිපෙළ හොයා ගන්න අපි ප්‍රශ්න අහනවා. ජනමාධ්‍යවේදයේ හදාරන ඩබ්ලිව් පහයි, එච් එකයි කියන සංකල්පය අනුව කොහෙන්ද? කවදාද? කව්ද? කුමක්ද? කෙසේද? කියලා අපිට මුද්දරෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. එයින් පමණක් මුද්දරේ ගැන සම්පූර්ණ අදහසක් ලබා ගන්න බෑ. ඉතිරි ටිකට අපි පුස්තකාලයක් පාවිච්චි කරනවා. අන්තර්ජාලයේ තොරතුරු හොයනවා. හඬ පටවල, වීඩියෝපටවලින් තොරතුරු හොයා ගන්නවා. පරිසරයට ගිහින් නිරීක්ෂණය කරනවා. ඒත් මදි නම් කරුණු හොඳින් දන්න ගුරුවරයක්, විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක් හෝ මහාචාර්යවරයෙක් මුණගැහෙනවා. දැන් අපිට මුද්දරය ගැන මතුපිට කියවීමක් හා විමර්ශනය කරලා හොයාගත්ත තොරතුරු ටිකක් තියනවා. මේ තමයි මුද්දර කියවීම පිළිබඳව භාවිතා කරන ශාස්ත්‍රාලීය ක්‍රමය. මේක විශ්ව විද්‍යාලවල උගන්වන ලෝකය පිළිගත්ත විෂයක්. පුස්තකාල විද්‍යාවේ ‘කියවීම’ කියන විෂයට අදාලව මේ කරුණු උගන්වනවා. කියවීම ප්‍රභන්ධ හා ප්‍රභන්ධ නොවන කියලා කොටස් දෙකකට කැඩෙනවා. මේ දෙක අතර අතිරේක කියවීමටයි මුද්දර කියවීම අහු වෙන්නේ. අතිරේක කියවීමෙන් මොලේ වම් හා දකුණු අර්ද වර්ධනය වෙනවා.
පොත්වල තියෙන දේවල් කියවන්නේ කාවොයි, වේයොයි කියලා කියනවානේ. පොත්වල තියෙන්නේ දැනුම නෙමේ, තොරතුරු. තොරතුරු කියවා දැනුම බවට පත් කර ගැනීම තමයි ඉගෙනීම කියන්නේ. නිකං කියවලා වැඩක් නෑ. මතක හිටින ක්‍රමවේදයකට කියෙව්වහම තමයි තොරතුරු දැනම බවට පත් වෙන්නේ. අපි පාසල් හා පුස්තකාල කේන්ද්‍රීයව මේ දැනුම බෙදා හරිමින් ඉන්නවා.”
අහලා තිබුණාට දැකලා නැති අය
ලෝකයේ මහා ව්‍යසන හමුවේ ජාතිවාදය, ආගම්වාදය ඉස්මතු වීමේ ස්වභාවයක් තිබේ. විශේෂයෙන් යුද්ධවලදී මේ තත්ත්වය දැක ගත හැකිය. දෙවන ලෝක යුද්ධය ආරම්බ වන්නේම ජාතිවාදය මූලික කරගෙනය. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේත් ජාතීන් අතර අසමගිය වැඩි වන සිදුවීම් සිදු වෙමින් තිබේ. වෛරී වචන භාවිතය. වෙනත් ජාතීන්ට ගැරහීම වැනි දේ සිදු වේ.
රටක ජාතික සමගිය ඇති කිරීමට මුද්දර දායක කරගත හැකිය. මුද්දරයකට දේශ සීමා මායිම් ඇත්තේ නැත. පෙරදිග, අපරදිග හෝ සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම ජාතියකට මුද්දරය අදාලය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මුද්දරයට ජාති ආගම් බේදයක් නැත. ලිපිනය ලියා, මුද්දරයක් ඇල වූ පසු ඒ ලිපිය ලෝකයේ කොහේ හෝ අදාල ලිපිනයට යා යුතුය. මුද්දරය ජාත්‍යන්තර තානාපතිවරයෙක් ලෙස සලකන්නේ ඒ නිසාය.
ලංකාවේ ජාතික සමගිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ වැදගත් පුද්ගලයින් වෙනුවෙන් මුද්දර නිකුත වී තිබේ. පෙන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, ලක්ෂ්මන් කදීර්ගාමර්, අයිවෝ ජෙනින්ස්, ඊ.ඩබ්. අධිකාරම් වගේ අයගේ මුද්දරවලින් ඒ ජාතික සමගිය වෙනුවෙන් කළ සේවය නැවත මතකයට නැන්විය හැකිය.
“රාමනාදන් මහත්තයා වෙසක් පොහෝය නිවාඩු දිනයක් බවට පත් කිරීම, කදීර්ගාමර් මහත්තයා ඒ නිවාඩුව ජාත්‍යන්තර බෞද්ද නිවාඩුවක් බවට පත් කිරීම බොහෝ අය දන්නේ නෑ. සුදු ජාතිකයෙක් වූ අයිවෝ ජෙනින්ස් මෙරට විශ්වවිද්‍යාල හදන්න ගත්ත මහන්සිය බොහෝ අය දන්නේ නෑ.
නම අහලා තියෙන්න පුළුවන්. රූපයෙන් දන්නේ නෑ. අවුරුදු 100 ට එහා අපේ රටේ ජීවත් වෙච්ච දැවැන්තයෝ ඡායා රූපයකින්වත් අඳුනාගන්න අපට බැරිනම් අවුරුදු 2500 ක ඉතිහාසයක් ගැන කතා කරලා වැඩක් නෑ. ඒ නිසා රටක ඉතිහාසය හා ලෝක ඉතිහාසය උගන්වන්න පුළුවන් නිර්මාණාත්මකම මෙහෙයුම තමයි මුද්දරේ.
මෙච්චර රසවත් කියවීමක් ලෝකේ කොහේවත් නෑ. විශේෂයෙන්ම ළමයි මුද්දරවලට කැමතියි. පළමුව විනෝදයට මුදදර එක් කරන්න ළමයින්ව පොළඹවන්න පුළුවන්. දෙවනුව ඒ මුද්දරයේ කාරණය පිළිබඳ පොඩි සටහනක් ලියන්න කියන්න පුළුවන්. තුන්වෙනුව කරුණු විමර්ශනය කරලා ක්‍රියාකාරකමක් කරන්න කියන්න පුළුවන්. මුද්දර 280 කින් 5 වසරේ සිංහල කියවීම් පොතේ පාඩම් 20 ම ඉතා හොඳින් උගන්නන්න පුළුවන්.” නිරෝෂණ පීරිස් මහතා එසේ කියයි.
ලිපියක් ලියන්න, සිනහවක් ගෙනෙන්න
කොවිඩ් වෛරස ව්‍යාප්තියට පසු ලෝකයේ රටවල් බොහෝමයක් කොවිඩ් මුද්දර නිකුත් කලේය. මුලින්ම කොවිඩ් මුද්දරයක් නිකුත් කළේ ඉරාණයයි. ඒ 2020 මාර්තු මාසයේය. මුද්දර නිකුත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ කොවිඩ් රෝගීන් සුව කිරීම සඳහා වෙහෙසෙන සෛඛ්‍ය කාර්්‍යමණ්ඩල, ආරක්ෂක අංශ, සිවිල් ක්‍රියාකාරකයින්ට උපහාර දැක්වීමයි.
කොවිඩ් වෛරසයෙන් පීඩාවට පත් පුද්ගලයින් වෙනුවෙන් ආධාර එකතු කිරීමටත් ඇතැම් රටවල් මුද්දර නිකුත් කලේය. ඒවා හැඳින්වූයේ චැරිටි ස්ටෑම්ප් ලෙසය. රුපියලේ මුද්දරයක් රුපියල් 2ට අලවි කර. රුපියලක් තැපැල් ගාස්තුවටත් ඉතිරි රුපියල ආධාරයටත් යොදා ගත්තේය. මුලින්ම එවැනි මුද්දරයක් නිකුත් කළේ ලෝකයේ ධනවත්ම රට වන ස්විට්සර්ලන්තයයි. ඔවුන් ස්විස් ෆ්‍රෑන්ක් හයක මුද්දරයක් නිකුත් කළේය. ඔවුන් එයින් ඉපයූ මුදල ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 23 කි.
අයර්ලන්තයද පෝස්ට් කාඩ් පතක් නිකුත් කලේය. රට අගුළු දමා තිබූ අවස්ථාවේ සෑම නිවසකටම පෝස්ට් කඩ් එකක් නොමිලේ බෙදුවේය. වැඩිහිටි නිවාසවල හුදකලා වූ අයටත්, ලබැඳියන්ගෙන් වෙන්ව සිටින අයටත් සැනසිලිදායක වදන් ලියා තැපැල් කරන්නැයි කීවේය.
හොඳම මුද්දර නිකුත් කළේ තවමත් බි්‍රතාන්‍යට යටත් දූපත් රාජ්‍යයක් වන අයල් ඔෆ් මෑන් ය. ඒ මුද්දර කොවිඩ් වෛරසයෙන් වේදනාවට, බියට හා හුදකලාභාවයට පත්වූවන්ටf ආදරය, කරුණාව, දයාව බෙදුවේය.
“අසරණ වූ අයගේ සිත සනසන්න, උදව් කළ අයට කෘතගුණ දක්වන්නයි ඔවුන් එහෙම කලේ. මේ කොවිඩ් සමයේ ලියන හැම දෙයක්ම ආනාගතයේදී එෛතිහාසික ලියවිලි බවට පත් වෙනවා කියලා ඔවුන් කියනවා. ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත ලියනකොට එය ලෝක ප්‍රසිද්ද ලියවිල්ලක්, ඉතිහාසය පිළිබඳ සාක්ෂියක් වෙයි කියලා ඈන් ෆ්‍රෑන්ක් හිතුවේ නෑ. ඒ වගේ මේ වෙලාවේ අපි හැමෝටම තමන්ගේ අත්දැකීම ලියා තබන්න පුළුවන් නම් ඒක වටින බව ඔවුන් විස්වාස කරනවා. ලෝකයේම සිදුවෙමින් පවතින දෙයක් නිසා මිත්‍රයින්ට, ඥාතීන්ට හෝ උදව් කළ කාට හරි ඔබ කළ දේට බොහෝම ස්තූතියි, අපට සහනයක් වුණා. මගෙන් වැරැද්දක් වුණා නම් මට සමා වෙන්න. කොවිඩ්වලින් පස්සේ අපි එකතු වෙලා සතුට සමරුමු. චාරිකාවක් යමු. අනාගතය ගැන බලාපොරොත්තු දල්වන්න කියන පණිවිඩ ඔවුන් ලබැඳියන් වෙත අරන් ගියා. මේ වෙලාවේ අත් අකුරුවලින් ලියලා යවන්න, කෙටි පණිවිඩයකට වඩා, විද්‍යුත් තැපැල් පණිවිඩයකට වඩා එය ඔවුන්ව තිගැස්මට ලක් කරනවා. ඔවුන් ඒවා සමරු ලෙස සුරක්ෂිතව තියා ගන්නවා. කුඩා මුදලකින් මේ වැඩේ කරන්න පුළුවන්. කියා ඔවුන් කීවා. නිරෝෂණ පීරිස් එසේ කියයි.
ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර"
© kiyawanamuddara 2020 | Solution by 4meli.com